Wednesday, July 25, 2018

වර්තමානය වගකීම් සහගත වූ තැන අනාගතය යහපත් වනු ඇති.......,,,,,,

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් යනු රටේ ඉදිරි අනාගතය බාර ගැනීමට සිටිනා පුරවැසියන් ය. රටේ අනාගතය ඔවුන් මත තීරණය වන්නේ ය. රට තුළ සිරගෙවල් වැඩිවන විට, සිරකරුවන් වැඩි වන විට රටේ අනාගතය බාර ගැනීමට බලා සිටින්නවුන්ගේ අහිමි වීම මුලු මහත් රටටම ඛේදවාචකයක් බවට පත් විය යුතු ය.



2018.06.18 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ මරණය මා හට දැනුනේ ඉදිරිය ගැන මහා බියකි. මේ අහිමි වූ සහෝදරයාගේ මරණය සැමරීමට ලියන ලිපියක් නොවන්නේ ය. මෙය වගකීම් සහගත වර්තමානයක් බිහි කිරීමේ අවශ්‍යතාවය කියාපෑමට දරණ උත්සහයකි. අනාගතය යහපත් වන්නටනම් වර්තමානය වගකීම් සහගත විය යුතු ය.

විශ්ව දැනුම ඒකරාශි කරන තෝතැන්නක් වන විශ්වවිද්‍යාල භූමිය ආරක්ෂිත බව හා සිසුන් පිළිබඳව යොමු කරන අවධානය මීට වඩා සරු එකක් විය යුතු ය. මක්නිස්සදයත් මේ නිර්මාණය කරන්නේ රටේ අනාගතයයි. ඒ වෙනුවෙන් කැප වී වැඩ කිරීම වගකීම් සහගත ප්‍රජාවකගේ යුතුකම බවට පත් වෙයි. ලෝකය ඉතා ඵලදායී යහපත් නිර්මාණශීලී තැනක් ලෙස විතැන් කිරීමට අවශ්‍ය වටපිටාව මේ භූමිය තුළ සැකසී තිබීම අනිවාර්ය කරුණකි. විදුලි සැර වැදී 18 වන දින මිය ගිය සොහොයුරාගේ මරණය තවමත් සිත් තැවුලට පත් කරන්නේ ඔහුට ජීවත් වීමට ඇති අයිතිය තිබියදී නිකරුනේ මිය යෑමට සිදු වීමයි. නිවැරදි ආරක්ෂිත විදුලි රැහැන් පද්ධතියක් තිබුනානම් මෙම අකාලයේ සිදු වූ මරණය නවතා ගැනිමට හැකිය. විශ්වවිද්‍යාලයක්  පුද්ගලයයෙකුගේ අධ්‍යාත්මික තත්වය හා කායික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙයි. ඒ කෙසේ නමුත් පවතින සමාජ ක්‍රමයත් සමඟ ඒ දෙක කෙරෙහිම අවධානයයොමු කිරීම සම්බන්ධයෙන් ගැටලු රාශියක් පවතිනු ඇති. ජීවිතයක් නැවත ලබා ගත නොහැකි ය. එබැවින් යළි යළිත් සිහියට නගා ගත යුත්තේ ආරක්ෂිත ක්‍රියාමාර්ග සියලුම අවස්ථාවන්හි යොදා ගැනීමයි. අහිමි වන ජීවිත වල වටිනාකම මේ මොහොතේ නොදැනුනත් යම්කිසි මොහොතක දැනෙනවා නියත ය.1983,1988 -89, කාල වකවානු වලදී නැති වූ තරුණ ජීවිත මේ මොහොතේදී ක්‍රියාත්මක වී තිබුනානම් මීට වඩා යහපත් රටක් අපට උදා වනු ඇතැයි යන්න සැකයක් පවා මතු වන්නේ අන්න ඒ නිසාවෙනි. නැවත නැවතත් සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් සහගත වීම විශ්වවිද්‍යාල බලදාරීන්ගෙ යුතුකමකි.

මෙය අප විශ්වවිද්‍යාලය සතු පළමු ගැටලුවවත්, අවසන් ගැටලුවවත් නොවේ. තව තවත් ඉදිරියටත් ගැටලු නිර්මාණය වීමට බොහෝ ඉඩකඩ ඇත. එබැවින් ඒවා කල්තියා හඳුනාගෙන සෙසු ජිවීත වලටවත් වගකීම් සහගත වීම අනාගතය නිර්මාණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. අපිරිසිදු ජල ගැටලුව,,, මේ නිසා වසරකට රෝගී වන සිසුන් ප්‍රමාණය අපමණ ය. වෛද්‍ය මධ්‍යස්ථානය තුළ නිසි ප්‍රතිකාර නොතිබීම, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නොතිබීම,  අවශ්‍ය මොහොතේ දී වෛද්‍යවරුන් නොමැති වීම මේ ආකාරයේ බොහෝ ගැටලු රාශියක් නිර්මාණය වී ඇත.

ඒ අනූව අධ්‍යාපනික ක්‍රමයේ පවා වෙනසක් අපේක්ෂා කරන මොහොතක  බිල්ඩින් අලුතින් හැදුවට, ඒවා නැවත නැවත් ප්‍රතිසංස්කරණය කලාට, ටයිල් නිතර නිතර මාරු කරාට ශිෂ්‍ය ජීවිත වලට අවශ්‍ය ආරක්ෂාවක් නොමැත. පිට ඔපයට වඩා අභ්‍යන්තරය ඔපවත් විය යුතු ය. දැන්වත් ඇස් කන් ඇර සිසු අනාගතය දෙස මීට වඩා වගකීම් සහගතව යොමු විය යුතු කාලය එළඹ ඇති බව වැටහිය යුතු ය. ආචාර්යවරු, මහාචාර්ය වරු රටේ ඉහළ තැන් වල තනතුරු දරනවා, තනතුරු ගන්නවා. නමුත් සැබෑ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමක්වත් මේ උගත් බුද්ධිමතුන්ගෙන් පෙනෙන්නට නොමැත. අවශ්‍යතාවය කුමක්ද යන්න පැහැදිලි වුවත් ඔවූහු පොදු අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින්නේ මන්ද යන්න සිතිය යුතු ය. එබැවින් අනාගතය නිර්මාණය කිරීම යනු බැරෑරුම් රාජකාරියකි.



No comments:

Post a Comment

රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...