Saturday, June 16, 2018

සීතල ගිනි ගනී ද ක්‍රිෂ්ණා




හිම දිය වී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

සිනා රැළි නඟා උතුරන ඔය හදවත් නීල ජලාශේ
පීනන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා
ඉඩදී දෙන්නට දඬුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා

මල් පෙති පොඩි වී ඉකිලන මේ හෝපලු යහන් තාලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා

ලෝක පැවැත්මෙහි මූල බීජය බවට පත් වන්නේ ආදරයයි. උපතේ සිට මරණය දක්වා යන ගමන අතරතුර මිනිසාට ආදරය විවිධ නිරූපණයන් ඔස්සේ ලඟා වෙනු ඇත. දෙමාපිය ආදරය, යහළු යෙහෙළියන්ගේ ආදරය, පෙම්වතා හෝ පෙම්වතියෙගේ ආදරය හා දරු මුණුපුරන්ගේ ආදරය ලෙස අර්ථකථන සැපයිය හැක. ආදරය සඳහා විවිධ විද්වත්හු, කලාකාමීන්, රසකාමීන් නිර්වචන සපයා තිබුන ද නිශ්චිත අර්ථයක් ගැබ් කළ නොහැකි තරම් වූ විශාල වපසරියක විහිදී ඇති අර්ථ රැසක් ලබා දෙන, පැවැත්ම සරු කරන ගබාඩාවක් යැයි ආදරය හඳුනා ගත හැක. ආදරය යන වචනට වඩා ප්‍රේමය යන වචනය තුළ කුමක්දෝ විශේෂිත බවක් මා හට හැගේ. එබැවින් ප්‍රේමවන්තයා හා ප්‍රේමවන්තිය වෙනුවෙන් පිදෙන සෙනෙහස ප්‍රේමය ලෙස අර්ථ දැක්වීමට මම කැමැත්තෙමි.

සැබෑ ප්‍රේමය තුළ ඉකි ගසන ගැහැනිය හා පිරිමියා සතු අවසන බලාපොරොත්තුව එසේත් නැතිනම් ප්‍රේම ආලින්ද රැඟුමේ උච්චතම අවස්ථාව වන්නේ ප්‍රථම වතාවට දෙදෙනාගේ සිරුරු දෙදෙනා වෙත නිරාවරණ කිරීමේ අවස්ථාවයි. මෙවන් අපූර්ව වූ සැබෑ ප්‍රේමයක එවන් අවස්ථාවක් ස්පර්ශ කරනු වස් ගීතය කෙතරම් උචිතද යන්න ධම්මික බණ්ඩාරයන් විසින් රචනා කරන ලද, අමරසිරි පීරිස් හා වසන්තා තිලකාංගනී ගායන කරන, එමෙන් ම ඩැනිස්ටර් පෙරේරා සංගීතවත් කරන ‘හිම දිය වී හිමාලයේ’ ගීතය වඩාත් යෝග්‍ය වේ.

ප්‍රේමයේ දිගුව හෙවත් ප්‍රේමනීය රාත්‍රියක් පිළිබඳ පුරාණ සාහිත්‍ය කෘතිවල මෙන් ම වර්තමාන සාහිත්‍යයන්හි දී ද විවිධ අයුරින් නිරූපණය වී තිබේ. රාධා හා ක්‍රිෂ්ණා යනු ආදරය යන මාතෘකාව තුළ දී විශේෂයෙන් කතාබහට ලක් වන චරිත දෙකක් සහ කතාන්දරයකි. තවත් ලෙසකින් කිවහොත් හරියට අපි පුංචි කාලයේදී පටන් හඳුනන ආදරය කරන රෝමියෝ සහ ජුලියට්, රොබින්හුඞ් සහ මැරියන් වැනි ඉතා අපූර්ව ඉන්දියවේ වඩාත් පිළිගත් ආදර කතාන්දරයකි. රාධා හා ක්‍රිෂ්ණා එක්තරා අවස්ථාවක වෙන් වන්නේ ය. ඉන් අනතුරුව යළිත් ආදර පිළිසදරෙහි යෙදෙන්නට අවස්ථාව ඔවුන්ගේ යහළු යෙහෙළියන් විසින් උදාකර දීමත් සමඟ දීර්ඝකාලයක් මුණනොගැසී හිතේ තද කරන් සිටි ආදරය ඔවුන් එකිනෙකා හා බෙදා ගන්නා අවස්ථාවක් මෙම ගීතය තුළ අන්තර්ගත වේ.

ශ්‍රී ජයදේවයන් විසින් රචනා කරන ලද ගීත ගෝවින්දයේ එන රාධා ක්‍රිෂ්ණා, පුරාණ වූ අපූර්ව වූ ප්‍රේම වෘතාන්තය ආදරය හා ඔවුන්ගේ ශෘංගාරාත්මක හැඟීම් මත නිර්මාණය වූ කතාන්දරයකි. ප්‍රේමය හා ශෘංගාරය මත නිර්මාණය වී ඇති ගීත ගෝවින්දයේ විශේෂයෙන් රාධා හා ක්‍රිෂ්ණාගේ කාමසම්බෝගය පිළිබඳ අපූර්ව ලෙස සාහිත්‍යයෙන් විස්තර කර ඇත. ප්‍රේමය තුළ ගැබ්ව ඇති අර්ථ රසයන් හා ශෘංහාරය මෙන්ම පුරාණ ප්‍රේම කතාන්දරයක හා වර්තමාන ප්‍රේම කතාන්දරයක සමාන අසමානතා හා ඒවා සංසන්දනය කරමින් සමාජය කෙරෙහි කෙතරම් දයාර්ද බැල්මක් හෙලනවාද නැත්නම් එකී නිර්මාණය සමාජය කෙරෙහි කෙතරම් ගැළපේද යන්න හා කොපමණ වටිනාකමකින් යුක්තද යන්න නිදහසේ කතා කිරීමට මෙම ගීතය අපූරුවට ගැළපේ. රාධා හා ක්‍රිෂ්ණා කතා පුවත පරිකල්පනය කරමින් විචාරාත්මක ඇසින් ‘ආදරය’ යන සංකල්පය දෙස බලනු සඳහා මෙම ගීතය ඉතා යෝග්‍ය වේ.

සාර්ථක ගීතයක් නිර්මාණය කිරීම සඳහා එහි පද රචනය, සංගීතය හා ගායනය යන ත්‍රිත්වය ම එක හා සමානව තිබිය යුතු ය. හිම දිය වී හිමාලයේ ගීතය එකී හරයන් සියල්ල ම සම්පූර්ණ කොට නිර්මාණය කළ ගීතයක් බව සහෘදයා ඉහළින්ම පිළිගනු නිසැකය. සාර්ථකත්වය යනු අවශ්‍ය පදාර්ථයන් සියල්ල එක හා සමානව සම්පූර්ණ කර තිබීමයි. එබැවින් ගීතයක් ලෙස මෙය සාර්ථක නිර්මාණයක් බැව් කිව මනාය.

ප්‍රවීන ගේය පද රචක ධම්මික බණ්ඩාරයන් බොහෝ නිර්මාණයන් සමාජයට දායාද කළ සුන්දර මිනිසෙකි. ආදරය, සෙනෙහස, විරහව, ප්‍රීතිය, මානව සම්බන්ධතා, මුණ ගැසීම්, වෙන්වීම් යන සියල්ල සියුම් ලෙස මිනිස් සිතෙහි සංතර්පණය කළ අයෙකු ලෙස ඔහුව හඳුනා ගැනේ. හෙතෙම සිය පරිකල්පනය අවදි කරනු වස් එක් අවස්ථාවක පවතින විස්තරයක් තවත් ලෙසකින් අර්ථ ගැන්වීමක් ලෙස ගීත ගෝවින්දයේ එන රාධා ක්‍රිෂ්ණාගේ ප්‍රේම වෘත්තාන්තය යොදා ගනී. ශ්‍රී ජයදේවයන් ගීත ගෝවින්දය තුළ රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘත්තාන්තය මුල සිට ඔවුන්ගේ රති කෙලිය දක්වාම විස්තර කරන බව පෙනේ. ගීත ගෝවින්දය තුළ සිය කතාන්දරය මැවීමට ජයදේවයන් ආරම්භය
ගන්නේ පහත ආකාරයෙනි.
“ගඟන ගන ගර්ජිත ය 1 
වන තමලු තිමිරිත ය 
රාත්‍රිය බියකරු ය
මොහු රැගෙන ගෙට යනු ය 
නන්ද එලිසින කිව ද
කලිඳු ගං තෙර අසළ 
නිසළ තුරු වඳුලු වෙත 
පැමිණි රාධා ගොවිඳු 
කෙළි අවල කෙළි දිනේ”

නමුත් වත්මනේ රාධා ක්‍රිෂ්ණාව අවදි කරන පරිකල්පිත මිනිසා ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තයේ උච්චතම අවස්ථාව පමණක් කවියට නඟා ආදරය මෙබදු සංසිද්ධියක පට්ලැවිල්ලක් ද, මෙයම ද ආදරය, මෙය යහපතක්ද අයහපතක් ද යන්න සමාජය වෙත යොමු කිරීමක් සිදු කරයි. එසේම මෙය ආදරය මනින මිනුම් දණ්ඩක් වශයෙන් භාවිත කිරීමක් සිදුවේද යන්න මා හට හැගේ.

 ධම්මික බණ්ඩාරයන් සිය කවි නිර්මාණය තුළට ප්‍රවිෂ්ට වන්නේ රාධා ක්‍රිෂ්ණාගේ රති කෙලිය සඳහා පරිසරය සූදානම් බව අගවමිනි. සීත සෘතුව අහවර වී, වසන්ත සමය උදා වී, ගස්වල මල් පිපී, පරිසරය සුන්දර වී, කොළොම් වන තුළ අමුතු අලංකාරයක් ගෙන ඒම තුළ ඔවුන් තුළ ඇති ප්‍රේමය තහවුරු කරනු වස් මූලික ප්‍රවිෂ්ටය ලෙස පහත පද පෙළ ඔහු විසින් තෝරා ගැනේ.

හිම දිය වී හිමාලයේ 
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා 
සුළඟ හමයි සීතල සාදා 
සීතල ගිනි ගනී ද ක්‍රිෂ්ණා

පෙම්වතුන් දෙදෙනාගේ අභිරමණය සඳහා වන අවස්ථාව කෙමෙන් කෙමෙන් උදා වන බවත් එකී අවස්ථාව සඳහා රාධා හා ක්‍රිෂ්ණා සුදානම් වන බවත් බාහිර පරිසරය ද ඊට සමාන්තරව හැඩ ගැසී ඇති බවත් පද රචකයානන් අපූර්ව කවීත්වයකින් යුතුව පෙන්වා දී ඇත.

සීත සෘතුව අවසන් වී හිමාලයා කඳු මුදුනෙන් හිම කැට දිය වී යමුනා ගංතෙරට එක් වන බවෙන් සංකේතවත් කරන්නේ මේ උදා වී ඇත්තේ වසන්ත කාලය බවත්, ආදරයේ එක්තරා සංකේතයක් ලෙස වසන්ත සමය යොදා ගෙන ඇති බවත් ය. තවදුරටත් කිවහොත් ආදරය පිළිබඳව හැඟීම් ගීතයෙන් හෝ කවියෙන් හෝ ගද්‍යයෙන් සටහන් තැබීමේදී වසන්ත සමය පිළිබඳ කියැවුණු අවස්ථා අපට දක්නට ඇත. කලිඳු (යමුනා ගඟ) ගංගාවෝ රාධාට සීතල ගෙන දෙන බවත් ක්‍රිෂ්ණා පවසන විට රාධා පෙරළා පිළිතුර දෙනුයේ ඒ සීතල ගින්නක් කර මා ගත වටා උණුසුම වපුරවාලන්න ලෙසිනි.

ශ්‍රී ජයදේවයන් ගීත ගෝවින්දය තුළ රාධා ක්‍රිෂ්ණාගේ අභිරමණය ආරම්භ කරන අවස්ථාව ‘සුප්‍රීත පීතාම්බර’ ලෙස හඳුන්වා දෙයි. රාධා හා ක්‍රිෂ්ණා මෙසේ කාමසම්බෝගයේ යෙදීමට මුල් වූ අවස්ථාව ලෙස ජයදේවයන් පෙන්වා දෙන්නේ ක්‍රිෂ්ණ රාධාගේ ප්‍රේමය පසෙකලා වෙනත් ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන යැයි රාධා සැක කරන නිසා ය. මෙසේ ප්‍රශ්නකාරී පසුබිමක් තුළ බොහෝ කලක් දෙදෙනා විරසකව හිඳ යළිත් මුණ ගැසෙන අවස්ථාව හා එකී අවස්ථාව තුළ ඇති වන ප්‍රීතිය ප්‍රදර්ශනය කරනු වස් ජයදේවයන් එකී අවස්ථාව යොදාගෙන ඇත.

ගීතගෝවින්දයේ ‘සුප්‍රීත පීතාමබර’ ලෙස රාධා හා ක්‍රිෂ්ණා අභිරමණයේ යෙදෙන්නට යන අවස්ථාව පෙන්වන්නේ පහත ආකාරයෙනි.

“නව දළු ගයන තලේ කර කාමිනි සරණ 1
කමල විනිවේශේ ඔබ 
පද පල්ලව වෛර පරාජය මෙය
විඳවනුය සුවේශේ 
ඔබ හට මේ නාරායණ 
අනුගත අනුයනු
මාරාධිකේ ”

මෙසේ අපූර්ව වූත් සුන්දර වූත් ප්‍රිය සංවාසය ආරම්භ කරනු සඳහා ජයදේවයන් මෙසේ පියවර ගනිද්දී ලාංකේය හදවත්වලට එය සුපෝෂණය කොට රැගෙන එන්නේ ඉතා අපූරුවට ය. ජයදේවයන් විසින් පියවරෙන් පියවර විස්තර කරන ලද කාමසම්බෝගයේ අවස්ථාව පද කීපයකට ලඝු කරමින් එදා රාධා ක්‍රීෂ්ණාව මෙදා සාහිත්‍යයෙන් විවරණය කරන්නේ නව සිතුවිලිවලට ආමන්ත්‍රණය කරමිනි.

සිනා රැළි නඟා උතුරන 
ඔය හදවත් නීල ජලාසේ
පීනන මේ ස්වර්ණ හංසයෝ 
අකීකරුද මෙතරම් රාධා 
ඉඩ දී දෙන්නට දඬුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා

ඔබේ හදවත ඉපිල ගොස් ය. ඔබ හුස්ම ගන්නා වාරයක් වාරයක් පාසා ඔබේ පුන් පියයුරු යුවළ සිනා නඟන හදවත මත අපූරුවට මා දෙස බලා සිටින්නේ අකීකරු වූ ස්වර්ණ හංසයින් යුවළක් මෙනි. මේ කියන්නේ කුමක්ද, ඉන්පසු යළි රාධා පිළිතුරු දෙයි. මේ වස්තුව ඔබේ ය. ඔබේම පමණි. අකීකරු වූවන් කීකරු කිරීමටනම් දඬුවම් දිය යුතුය. ඔබ සූදානම්ව සිටී. ඔබට ඕනෑම දඬුවමක් දී ඒ අකීකරු බව පහ කර හරින තුරු මා දෑස් පියාගෙන ඉන්නම් ක්‍රිෂ්ණා.

කොයිතරම් අපූරුවට මහා ගීත කාව්‍යයක් පද කීපයකට ගළපා ඒ අපූර්ව රසය කාටත් සුදුසු ලෙස ප්‍රතිනිර්මාණය කොට ඇත්ද. වර්තමානයේ නව පරපුර අතින් බිහිවන බොහෝ ගීත අතුරෙන් ව්‍යංගය තුළ නිර්මාණ කරන රචකයන් අතර ධම්මික බණ්ඩාර කැපීපෙනෙනවාත් සමඟම ඔහුගේ නිර්මාණයන් ද කැපී පෙනේ. ආදරයේ එකී රහස්‍ය අවස්ථාව රහසක් ලෙස ම සඟවා මුලුමහත් සමාජයට ම අසන්නට සැලැස්වූ අයුරු ඉතාමත් අපූර්වයි.

රාධා ගොපළු ලියකි. ක්‍රිෂ්ණා ද ගොපළු කොල්ලෙකි. ඉතාමත් රූමත් ශරීර සෝබාවකින් හෙබි රාධා හා කාල වර්ණ ශරීරයක් හිමි නමුත් ඉතා ප්‍රිය මනාප අලංකාර රූපයක් ඇති ක්‍රිෂ්ණා යන දෙදෙනා පියවරෙන් පියවර ගොස් ඊළඟට සැරසෙන්නේ රාග ගින්නෙහි සිත දවා ගැනීමටයි. ගීත ගෝවින්දය ආශ්‍රය කර ගනිමින් රචනා කරන හිම දිය වී හිමාලයේ ගීතය එම රතී ගින්න පැතිරෙන ආකාරය ඉතාමත් කෙටි පද කීපයකින් පෙන්වා දී රසික හදවත් පිනවීමට සමත් වන්නේ ය.

ගීත ගෝවින්දය තුළ මෙම අවස්ථාව ශ්‍රී ජයදේවයන් විසින් වර්ණ්වත් කරන්නේ පහත ආකාරයෙනි.

“රාධා යුවළතින 1
ඇඳ වැලඳ දැපනලූ
පයෝදරයර බරිත පෙළුෑ
දිමුතු නියගින් 
පහළ දසන් 
මුස කළ ලවන් 
පුළුලුකුල පහර දුන් 
තමා වෙත නමා ගත් 
රත ලවන් මධු පොවා 
සකල හද මෝහ කළ 
ගෝවින්ද අති විපුල් 
ආනන්ද වින්දේය 
මහිමද විපරිත
ගති මහත් විස්මයකි ”

මෙයම සුඛනම්‍ය ස්වරයෙන් රචනා කරන්නට ධම්මිකයන්ට හැකි වී තිබේ. නිදහස් ගී පද ආරයකින් මාත්‍රා ගළපා අභිරමණයේ උච්චතම අවස්ථාව පෙන්වා දෙන්නේ සියල් මනස් මෝහනය කර පුබුදුවාලමිනි.

මල් පෙති පොඩි වී ඉකිලන 
මේ හෝපළු යහන් තලාවේ 
සඳ දිය මිණි මෙවුලට වැටිලා 
දෑස නිලංකාරයි රාධා
ගිලිහී ගියදෙන් මිණිකැට 
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා

හෝපලු වනය හෙවත් අශෝක වනය හිමාල වනයේ ම ඇති හෝපලුවලින් ගහණ වන පෙත තුළ ඔවුන්ගේ සිරි යහන බවට පත්වන්නේ අශෝක මල් ඇතිරූ තලාවක් ය. මේ වන විට ඔවුන්ගේ සිරුරු එකට තෙරපීමත් සමඟ අශෝක මල් තැලී පොඩි වී ගොස් ය. ඒ අතර ම රාත්‍රී අහසේ කාන්තිමත් චන්ද්‍රයාගේ එළිය රාධාගේ මිණිමෙවුලට (පුරාණ කාන්තාවන් ඉනෙහි බඳින මැණික් ඇල්ලූ පළඳනාවකි) වැටී එය ක්‍රිෂ්ණාගේ දෑස් මතට පරාවර්තනය වන්නේ ය. ඒ බව ඉතා අපූරුවට ක්‍රිෂ්ණා සඳහන් කරයි.

“සඳ දිය මිණිමෙවුලට වැටිලා දෑස නිලංකාරයි රාධා”

මෙසේ ක්‍රිෂ්ණා පවසන විට රාධා පවසන්නේ ‘ගිලිහී ගියදෙන් මිණිකැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා’. මා ඉනෙහි දවටා ඇති මේ පළඳනාවෙන් තවදුරටත් පලක් නොමැත. එබැවින් එය ඔබ විසින් ඉවත් කරන්න. මා දෑස වසා ඉන්නම් ලෙසට ය.

ආදරයේ උච්චතම අවස්ථාව, තවත් ලෙසකින් තම පෙම්වතා හෝ පෙම්වතිය පුලපුලා බලා සිටින අවස්ථාව, රාගයේ ගින්න, මේ සියලු අර්ථකතනයන් ඔස්සේ රධා ක්‍රිෂ්ණාගේ ප්‍රේම වෘත්තාන්තය ආදරයේ සංකේතයක් කොට ඉතා අපූරුවට ධම්මික බණ්ඩාරයන් විසින් රචනා කොට ඇත.

කෙසේ නමුත් ධම්මිකයන් ඉතා සියුම් ලෙස රසික හදවත් ස්පර්ශ කිරීමට සමත් වී ඇත. ඒ සඳහා විවිධ උපක්‍රම නිර්මාණශීලීව ඔහු යොදාගෙන ඇත. ඒ අනූව ඔහුගේ සුවිශේෂ ලක්ෂණය වන්නේ ගීත ගෝවින්දය අනුකරණයකින් තොරව රචනා කිරීමයි. මෙතුමා ගීත ගෝවින්දයේ එන කිසිඳු වචනයක් භාවිත නොකර පරිකල්පනයට ඉඩදී සිය නිර්මාණය ප්‍රකාශය කොට ඇත. එසේ ම සුප්‍රීත පීතාම්බර යන ගෝවින්දයේ එන කොටස කවි පංති 31කින් සමන්විත ය. නමුත් ධම්මික බණ්ඩාර විසින් ඒ සියල්ල පද 17කින් අවසන් කොට ඒ අපූර්ව අවස්ථාව සවිස්තරාත්මකව රචනා කරන ලද බව පෙනේ.

එසේම උපමා රූපක වැනි නිර්මාණාත්මක කාව්‍ය උපක්‍රම  භාවිතය ද මෙතුමන් සතුව දැකිය හැකි තවත් ලක්ෂණයකි බවට පත් වේ. ගීත ගෝවින්දයේ එන රාධා ක්‍රිෂ්ණාගේ කතාන්දරයේ විවිධ අවස්ථාවල ඔවුන්ගේ දෙබස් ද කවියට නඟා ඇත. එම අවස්ථාව ධම්මිකයන් විසින් සිය නිර්මාණය තුළ යොදා ගනු ලැබූවක් ලෙස ගීතය තුළ පුරුෂ හා ස්ත්‍රී යන දෙපක්ෂය ම ගායනා කිරීම දැකිය හැකි තවත් අලංකාරාත්මක උපක්‍රමයක් ලෙස හඳුනා ගත හැකිය. රාධා හා ක්‍රිෂ්ණා සම්බන්ධ කර ගනිමින් නිර්මාණය වී ඇති ‘තිසර තුඩට තුඩ නගන්න’, ‘කලිඟු ගංගා තීරයේ’ හා ‘යමුනාගංතෙර තමළු ලතා සෙවනේ’ වැනි ගීත තනි පාර්ශවයකින් ගායනා කරන අතර ‘නිල් කැට වැස්ස’ කැසට් පටයේ එන හිම දිය වී හිමාලයේ ගීතය යුග ගීතයක් බවට පත් වීම තවත් සුවිශේෂත්වයකි.

රති කියන්නාවූ භාවය නිසා ඇති වන්නා වූ ශෘංගාර රසය ඉස්මතු කිරීමෙහිලා ‘හිම දිය වී හිමාලයේ’ ගීතය වැදගත් වන තවත් කරුණක් වන්නේ එහි සංගීතයයි. ඩැනිස්ටර් පෙරේරා සිය සංගීත ඥානය තුළ පිහිටමින් ප්‍රේමය තව තවත් තිව්‍ර කරනු වස් බටනාලාව ශ්‍රාස්ත්‍රීය පදනමකින් ද ගිටාරය බටහිර ආභාසයකින් ද ඉතා අපූරුවට නිර්මාණාත්මක ලෙස යොදා ගෙන ඇති ආකරය එය වින්ඳනය කිරීමේදී අප සිත් තුළට මනාව ගමන් කරන්නේ ය.

ඉන්දීය භාරතීය සංගීතය හා බටහිර වාදන භාණ්ඩ මේ ආකාරයට මුසු කිරීමක් කොට රාගය, රතිය, ප්‍රේමය, වැනි කාරණා ඉස්මතු කිරීමට ඔහු සමත් වෙයි. ගිටාරය තුළින් සියුම් බව නිරූපණය කරනවාත් සමඟ බටනලාවෙන් භාව ප්‍රතිරූපය නැංවීමට උත්සහ දරා ඇත. බටනලාව වනාහි විවිධ පසුබිම් තලවල සිට අපූර්වත්වය විදහා දැක්විය හැකි සංගීත භාණ්ඩයකි. ඩැනිස්ටර්යන් මෙය ඉතා හොඳින් පැහැදිලි කොට රසික හදවත් තුළට කතා කිරීමට ප්‍රේමය සඳහා බටනලාව යොදාගෙන ඇති බවත් කිව යුතු ය. ඒ කෙසේ නමුත් අපේක්ෂිත ශෘංගාර රසය සඳහා කිසිඳු හානියක් නොකොට එය තවදුරටත් තිව්‍ර කිරීම සඳහා සිය නිර්මාණ කුසලතාව යොදාගෙන ඇති බව මනාව පැහැදිලි වේ.

තවත් විටෙක සංගීතඥයා ස්වර පරාසය ඉතා හොඳින් භාවිත කර ඇති අතර නිදහසේ ගලා යෑමට එය හානියක් කොට ගෙන නොමැත. මෙම සංගීත නිර්මාණය පදවලින් නිරූපිත අර්ථය සපථ කිරීමට වඩා යෝග්‍ය ලෙස භාවිත කර ඇති බව කිව යුතු ය. එමෙන් ම තබ්ලා වාදනය ඉතා සියුම් ලෙස සුමදුර බව තවත් වඩවාලීම සඳහා යොදා ගෙන ඇති අතර රාගධාරී සංගීතයේ එන ශුද්ධ රාහය, භාවතී රාගය වැනි රාගද කීපයක්ම ගීතයේ සංගීතය සඳහා යොදාගෙන ඇත. පුරාණ සාහිත්‍යයකින් නිර්මාණය කරන ලද්දක් වීම හේතුවෙන් ද ක්‍රිෂ්ණා නැමති තරුණයා බටනලාවෙහි නිරන්තර ප්‍රිය ඇත්තෙකු වන නිසා ද බටනලාව ගීතයේ සංගීතය සඳහා යොදා ගත් බැව් පෙනේ. එමෙන් ම බටහිර සංගීතය හා ඉන්දියානූ ශ්‍රාස්ත්‍රීය සංගීතය මනාව සංකලනය කොට නව නිර්මාණයක් බිහි කිරීම තවත් සුවිශේෂත්වයක් බව කිව මනාය.

ධම්මික බණ්ඩාරයන් විසින් රචිත මෙම ගීතය හුදෙක් ප්‍රේමය, රාගය ගැන පමණක්ම කියැවෙන පුරාණ සාහිත්‍ය කෘතියකින් උපුටා ගත් තවත් එක් නිර්මාණයක්ම පමණි ද? ඔහු යමක් කියන්නට, සමාජයට මනස විවර කර බලන්නට අවස්ථාවක් උදා කර ඇත් ද? වර්තමාන යනු අතීතයට සාපේක්ෂව යහපත පිරිහෙන, මිනිස්කම් නොහඳුනන, ආදරය වෙළඳාම කරගත් සමාජයකි. සතුට වෙනුවට කඳුළු දකින සිනහව වෙනුවට දුක පෙනෙන සමාජයක් ඉදිරියේ අපි ජීවත් වී සිටින්නෙමු. ඉදින් මෙකී පරිසරයක් තුළ හිඳ මෙවැනි නිර්මාණයක් කිරීම යනු හුදෙක් අතීතයේ පැවතුණු සිදුවීමක් විස්තර කිරීමක්ම ද?

නිර්මාණයක් පිළිබඳව කතා කිරීමේදී සාර්ථක නිර්මාණකරුවා යන්න කවරෙහුද යන්න එක්තරා විද්වතුන් දෙදෙනෙකු පවසා ඇත්තේ පහත ආකාරයෙනි.

බර්තෝල් බ්‍රෙෂ්ට් -

“හොඳ නරක තේරුම් බේරුම් කර ගැනීමේ පාලමකි නිර්මාණය” 

කාල් මාර්ක්ස් -

“ඔවුහු නොයෙකුත් හඬින් අපටද තමන්ව අනුකරණය කරන ලෙස හඬ නඟති. ඔවුන් තුළ කිසියම් ජීවිත දෘෂ්ටියක් ඇති බව මනසින් පමණක් නොව මුලු ආත්මයෙන්ද අපට දැනේ. ඔවුන්ගේ හොඳම අය ජීවිතය යථා පරිදි සිතුවම් කරයි. ජීවිතය පවතින හා පැවතිය යුතු ආකාරය පිළිබඳව අපට දනවයි. එය අප සිත් ගනී.”

ඒ අනූව මෙසේ නිර්මාණකරුවා, කලාකරුවා, යනු තවත් එක් පුද්ගලයෙකු පමණක් නොවන බව පෙන්වා දෙයි. එබැවින් ධම්මික බණ්ඩාරයන් ද මේ දරා ඇති උත්සහායෙන් පෙනෙන්නේ සාර්ථක නිර්මාණකරුවෙකු දරණ උත්සහයකි. ඔහු සිය පෑන් තුඩ අවදි කරන්නේ, ලෝකය තවදුරටත් ගමන් කරන්නේ අයහපත් දිශානතියකට ය. නමුත් ඔබ එක්වරක් නැවතී ආපසු හැරී බලන්න. අතීතය තුළ ආදරය, ප්‍රේමය, රාගය වැනි මාතෘකාවන් කෙතරම් සුන්දර වදන් ද, යන්න සමාජය තුළට දනවමිනි; අඟවමිනි. ඔහු සිය නිර්මාණය තුළින් එහි පද රචනාව, ගායනය හා සංගීතය තුළින් රසිකයා වෙත අමුතු ම හැඟීමක් දැනවීමට සමත් වී ඇත. ඔහු මේ කියන්නට තැත් කරනුයේ ඔබත් පෙම්වතියක්නම්, පෙම්වතෙක්නම් රාධා හා ක්‍රිෂ්ණා සේ ආදරය කරන්න, සබෑ ප්‍රේමයේ රාගය විඳින්න යනුවෙනි.
 
අද සමාජය තුළ විවිධ අසහනකාරී පුද්ගලයින් නිර්මාණය වී ප්‍රේමය සිල්ලර හා තොග වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ඇති ලෝකයකි. එකී සමාජ තලයක් තුළ මිනිසුන්ට එවන් ගුණාත්මක සංරචකයන්හි වටිනාකම පෙන්වීම සඳහා මෙවැනි ගීතවල වටිනාකම ඉතා අගනේ ය. සමහර මිනිසුන් ලිංගිකත්වය ගැහැනිය යන මාතෘකා තමන්ගේ වරප්‍රසාදයක් බවට පත් කර ගැනීමත් ආදරය පසෙකලා රාගය පමණක් උකහා ගන්නා ලෝකයක සැබැවින් ම මෙය සාර්ථක නිර්මාණයකි. යමුනා මාලනී පෙරේරාගේ ‘ණයට ගත් සාජ්ජය’ නැමැති කවි පොතෙහි ගැහැනිය, ප්‍රේමය හා ලිංගිකත්වය විකිණෙන ආකාරය මනාව කියාපාන ආකාරය තුළින් වර්තමාන සමාජයේ පිළිබිඹුව දැකිය හැකය.

“රාග විලේ රළ පෙරැළේ තරංගනා..... 2
මදුවිත ලඟ පිය බිරිඳත් මරංගනා.....
අඩ අඳුරට කැත ගෑණූත් සුරංගනා..... ”

තව ද එතුමියන්ගේ ‘සුරාසොඬ සැමි වලප’ ද මෙවන් සමාජ ගැටලුවක් පිළිබඳව සඳහන් කරන කවි පංතියකි. ආදරය දෙදරා යෑම තුළ ගැහැනිය විඳින වේදනාව හා ඒ තුළ බලපෑම් සහගත ලිංගික ඇසුරක් ඇයට උරුම වන බව කියාපායි. මේ තුළින් ලිංගිකත්වයේ විවිධ විසාධනීය අවස්ථා පෙන්වා දීම හා හිම දිය වී හිමාලයේ ගීතයේ අන්තර්ගතය සමාජයට කෙතරම් අවශ්‍ය කරුණක් ද යන්න පැහැදිලි කර ගත හැකි ය.

“වද වද මගෙම පරපුර හොඳ හිතින්         දරා 3
 ලැබ ලැබ කටුක දුක් ගිනි නැගුණ බුර බුරා
 විඳ විඳ අපා දුක් මට සැපත දුන්                 සරා
 අභිණික්මන් කළේ ඇයි මගෙ        යශෝධරා ”

මෙසේ සමාජය තුළ අද වනවිට ආදරය යන මාතෘකාව විවිධ අර්ථයන්ගෙන් පෙන්නුම් කරයි. මෑතක දී වාර්තා වූ පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇන ඔහුත් සියදිවි හානි කර ගත් අවස්ථාවන් වැනි සිද්ධීන් තුළින් අපට පෙනෙන්නේ ආදරයේ ගමන් මඟ අඳුරු පැතිකඩක් බවට පරිවර්තනය වී හමාර බවයි.

එබැවින් ධම්මික බණ්ඩාරයන් සිය නිර්මාණය තුළ පුරාණ සාහිත්‍යයක් වන ගීත ගෝවින්දයේ රාධා ක්‍රිෂ්ණා කතාන්දරය ඇසුරු කර ගනිමින් ප්‍රේමය තුළ අභිරමණය බලපැවැත්වීම අපූරුවට නිරූපණය කරනවා සේම, එහි නිර්මාණාත්මක ගුණය, ගායනය හා සංගීතය යන අංශයන් සියල්ලම ඉතා හොඳින් ගීතය තුළ චලනය කරනවාත් සමඟ සාර්ථක නිර්මාණයක් ද සමාජයට දායද කරන්නේ ය. තවත් ලෙසකින් වර්තමාන සමාජයට ද ඔහු ආමන්ත්‍රණය කරන්නට උත්සහ ගෙන ඇති බව පෙනේ. ආදරය යනු හුදෙක් රාගික බැඳීමක් පමණක් නොවන බව පෙන්වමින් රාධා ක්‍රිෂ්ණා කතාන්දරය මුල සිට කියවීමට ද රසික හදවත් තුළට උත්ප්‍රේරණයක් මේ ගීතය තුළින් ලබා දීමට ද ගීත රචකයා උත්සහ කරන බැව් කිව මනා කරුණකි.

1      ගීත ගෝවින්දය පරිවර්තන - සුචරිත ගම්ලත්
 
2 ණයට ගත් සාජ්ජය - යමුනා මාලනී 

3 සුරා සොඬ සැමි වලප - යමුනා මාලනී 

 


රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...