Friday, January 18, 2019

රසවාදය


ක්‍රි.පූ. 2 වන සියවසේ පමණ භරතමුනි නම් භාරතීය පඬිවරයා විසින් නාට්‍ය කලාව පිළිබඳ සංස්කෘත භාෂාවෙන් ග්‍රථයක් රචනා කරන ලදී. ඒ කෘතිය ‘නාට්‍ය ශාස්ත්‍රං’ නම්. එවක පැවැති නළු නරඹා ඒ ඔස්සේ සිත යොමු කොට අන් වියතුන් සමග ද සාකච්ඡා කොට මේ කෘතිය රචනා කළ බව ඉතිහාසයේ සඳහන් ය. මේ කෘතියේ නළුවක තිබිය යුතු මූලික රස අටක් ඔහු පෙන්වා දුන්නේ ය. ඒවා නම්: ශෘංගාර රසය‚ කරුණා රසය‚ භයානක රසය‚ රෞද්‍ර රසය‚ වීර්ය රසය‚ අද්භූත රසය‚ භීබත්ස්‍ය රසය... මෙය භරතමුනි රසවාදය නමි.
පසුව වෙනත් පඬිවරු මෙයට ශාන්ත රසය නම් රසයක් එක් කළෝ ය.
රස යන්නට සමාන පද ලෙස ඉංග්‍රීසි බසින් taste/juice/sap දැක්විය හැකි වුවත් භරතමුනි දුන් අර්ථය නොලැබෙන හෙයින් ඉංග්‍රීසියෙන් ද ‘රස’ යන පදය ම භාවිත වන බව සැලකිය යුතු ය. රසය යනු මිරිකා ලබා ගන්නා යුෂය ලෙස ද‚ පෙරී එන සාරය ලෙස ද‚ ඕජස ලෙස ද ගත හැකි නමුත් සාහිත්‍යයේ දී එය විඳින දෙයකි. එය තමතමන්ගේ රුචිය අනුව වෙනස් වනු ඇත.
පසු කලෙක අභිනවගුප්ත ( ක්‍රි. ව 950 - 1020) නම් විද්වතකු විසින් මේ රසවාදය නළුවලට මතු නොව කාව්‍ය ශාස්ත්‍රයට ද අදාළ කැර ගත හැකි බව පෙන්වා දෙමින් අභිනව භාරතී නම් කෘතියක් රචනා කළේ ය. ඒ අනුව ගද්‍ය පද්‍ය සියලු ආකාර කාව්‍යයනට මෙය අදාළ වෙයි.
රස’ උපදින්නේ හෙවත් රස නිෂ්පත්තිය සිදුවන්නේ ‘භාව’ නිසා බව භරත මුනිහු පෙන්වා දෙති. භාව තුනකි. ඒවා විභාව‚ අනුභාව සහ ව්‍යභිචාරිභාව ලෙස හැඳින්වෙයි. මේවා ආහාර පිස ගැනීමේ දී භාවිත වන කුළුබඩු වැනි දෑට සමාන ය. ඒවායින් ආහාරයට විවිධ රස එක් කරමින් ඒ රස තීව්‍ර ද ස්ථායී ද කරයි. භාව විසින් නළුවල රස උපද්දන්නේ ද එයාකාරයෙනි. රසත්වයට පත් වන්නේ එසේ ස්ථායී බවට පත් වන ‘භාව’ය.
ආහාර වර්ග සකස් කැර ගැනීමේ දී යොදන අනුපාන අනුව රස වෙනස් වෙයි. ආහාර ගන්නා පුද්ගලයෝ මේ විවිධ රස හඳුනති. එවිට මිනිස්සු තමා දන්නා හඳුනන එම රස ආස්වාදනය කරති. විලෝම වශයෙන් එසේ ආස්වාදනය කරන දෑ ‘රස’ නමි. භාව ප්‍රමෝදය හෝ භාව ප්‍රකෝපය නිසා නිශ්පන්න රසය ද රසාස්වාදනය ද විවිධ වෙයි.
මෙලෙස ශෘංගාරය නමැති රසය රාගය නිසා ද‚ කරුණා නමැති රසය ශෝකය නිසා ද‚ හාස්‍යය නමැති රසය හාසය නිසා ද‚ භයානක නමැති රසය භීතිය නිසා ද‚ රෞද්‍ර නමැති රසය ක්‍රෝධය නිසා ද‚ වීර්ය නමැති රසය උත්සාහය නිසා ද‚ අද්භූත නමැති රසය විස්මය නිසා ද‚ බීභත්ස්‍ය නමැති රසය ජුගුප්සාව නිසා ද‚ ශාන්ත නමැති රසය භක්තිය නිසා ද නිෂ්පත්තිය සිදුවන බව රසවාදයේ දැක්වේ.
රසවාදය මුල දී යොදා ගැනුණේ නළු විචාරය කිරීම ස‍ඳහා ය. එහෙත් පසුව එය ඒවායේ නිර්මාණාත්මක කාර්යයේ දි අදාළ කැර ගැනීම සිදු විය. පසු කලෙක සංස්කෘත භාෂාවෙන් රචිත කෘති මේ රස එකක් හෝ කිහිපයක් ප්‍රකට කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද බැව් පැහැදිලි ය.
කලා නිර්මාණ බිහිවන්නේ මුලින් ම එක් මිනිසකුගේ මනසේ ය. එය පරිපූර්ණ ව නිම කොට අන්‍යයන්ගේ ආස්වාදය පිණිස ඉදිරිපත් කෙරෙනවිට සමහරවිට එයා සාමුහික නිර්මාණයක් බවට පත් විය හැකි ය. එහෙත් නවකතා‚ කෙටිකතා‚ කවි වැනි සාහිත්‍යාංග සාමුහික නිර්මාණ බවට පත් වන අවස්ථා විරල ය. ඒවා තනි පුද්ගල මනසක පිළිසිඳ ඒ මනසින් ම බිහි වේ. මේ නිසා කෘතියට උපත දුන් පුද්ගලයා ඒ කෘතියේ රස නිෂ්පත්තිය පිළිබඳ පූර්ණ වගකීම දැරිය යුතු ය.
ඇතැම්විට නිපුණ‚ ශික්ෂිත නිර්මාපකයන් නිශ්චිත ශානරයක නිශ්චිත රස නිෂ්පන්න කැරෙන කෘතියක් සිතා මතා ම නිර්මාණය කරන්නට ඉඩ ඇතත් බොහෝ සාහිත්‍යකරුවන් සිය ඒක පුද්ගල සාහිත්‍ය කෘති නිර්මාණය කරන්නේ එවැනි සීමා දැන හෝ ඒවා තුළ හිඳ හෝ නොවේ. එහෙත් කෘති රස විඳින්නන් වැඩි නිසා ඒ එක් එක් අයට ඒ ඒ කෘතියේ රස වෙනස් ආකාරයට දැනෙනු ඇත. රසවාදයේ පෙන්වා දෙන එක් මූලික කරුණක් වන්නේ එයයි. මෙහි දී අර ආහාර පිළිබඳ උදාහරණය නැවත සිහිපත් වේ. සාහිත්‍ය කෘතිය හොද්දක් නම් එහි අරක්කැමියා නිර්මාණකරු හෙවත් ලේඛකයා ය. එකම හොද්දේ කෙනකුට ලුණු වැඩි සේ සහ තවත් කෙනෙකුට අඩු සේ ද දැනෙනු ඇති අතර තවකකුට ලුණු පිළිබඳ ප්‍රශ්නයක් නැතත් ඇඹුල් පිළිබඳ ගැටලුවක් තිබිය හැකි ය. එහෙත් අරක්කැමියා හොද්දට අනුපාන යොදන්නේ තමන්ගේ මොළයේ ගබඩා වී ඇති දැනීමේ ප්‍රමාණය සහ අත්දැකීම අනුව ය. එයාකාරයෙන් භාවවලින් නිපැයෙන රස කෙනෙකුට රුචි විය හැකි අතර තවත් කෙනෙකුට අරුචි විය හැකි ය.
භාව යනු හැඟීම් (emotions) ය. සිතක් ඇත්නම් හැඟීම් ද තිබිය යුතු ම බැවින් ඒවා ස්ථාවර භාව ලෙස ද හැඳින්වේ. සාහිත්‍යයමය භාව කිසියම් මනුෂ්‍යයකුගේ චිත්ත සන්තානයේ පහළ වීමට නම් ඒ තැනැත්තාට වාසනා ගුණය තිබිය යුතු යැයි භාරතීය පඬුවෝ පැවසූහ.
භාව තුන් ආකාර බව භරත මුනින්ගේ මතයයි. භාව නිරූපණය කරන විභාව‚ භාව අනුව යන අනුභාව සහ භාව කැටුව නමුත් ඉස්සර වී යන ව්‍යභිචාරී භාව යනු ඒ තුනයි. මේවා ශාඛාවලට බෙදේ. විභාව ගැන පමණක් කියන්නේ නම් එය ආරම්මණ විභාව සහ උද්දීපන විභාව යනුවෙන් කොටස් දෙකකින් යුක්ත බව කිව හැකි ය.
භාරතීය රසවාදය අනුව නිර්මාණකරණය හෝ විචාරය දැන් බහුල නොවේ. මේ වනවිට ඉන්දියාවේ පවා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ බටහිර මතාන්තර ය. ඊට හේතුව විය හැක්කේ භාරතීය රසවාදය හුදෙක් සෞන්දර්ය පදනම් කැර ගෙන ආකෘතිගත වීමත් බටහිර විචාර සමාජ දේශපාලනික සහ ආර්ථික කරුණුවල ආකෘතිගත වීමත් ය. මෙයට මාක්ස්ගේ දර්ශනය බොහෝ සෙයින් බල පාන්නට ඇත. මාක්ස්ගෙන් බිඳී ගිය කණ්ඩායම් මෙන් ම මාක්ස්ට එරෙහි වූවන් විසින් ද නව මතවාද ඉදිරිපත් කරන ලදී. එසේම විවිධ ගුරුකුල වෙතින් ද වෙනස් මත ඉදිරිපත් වීම දැකිය හැකි ය.

No comments:

Post a Comment

රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...